045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
« ආපසු

මහවලතැන්න වලව්ව

ලොව ප්‍රථම අගමැතිනිය බිහි කළ මහවලතැන්න වලව්ව පිහිටා තිබෙන්නේද බලංගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහවලතැන්න ග්‍රාම නිළධාරී කොට්ඨාශයේය. මහවලතැන්න යන නම ඇසෙන සැණෙකින් අපේ මතකයට නැගෙන්නේ ලොව ප්‍රථම අගමැතිනිය වන ගරු සිරිමාවෝ බණ්ඩාරායක මැතිනියගේ නාමයයි. ඒ මහවලතැන්න වලව්ව ඇයගේ මව වන රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න මැතිනියගේ දේපළක් වූ හෙයිනි. මහවලතැන්න වලව්වේ ආරම්භය පිළිබඳව විවිධ වර්ෂයන් පොත්පත්වල සඳහන් වුවද එකී කිසිදු සටහනකින් නිවැරදි මූලාශ්‍රයක් ගත නොහැකිය. වලව්වේ වත්මන් හිමිකාරිනිය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නෑනන්ඩිය වන බලංගොඩ හිටපු මහජන මන්ත්‍රිනී මල්ලිකා රත්වත්තේ මැතිනියයි. සබරගමුවේ ප්‍රතාපවත් පෙළපතක් ලෙස මහවලතැන්න පරපුර හැඳින්වේ. පෙළපතේ ආරම්භකයා ලෙස සැළකෙන්නේ ඇන්. ඩී. එන්. මහවලතැන්න නම් අදිකාරම්වරයෙකි. සිංහල රජුට පක්ෂවත් ඇහැළේපොළ අදිකාරම්වරයාට මිත්‍රවත් කටයුතු කළ අයෙකු ලෙස පුරාවෘත වල සඳහන් වේ. මෙම අදිකාරම්වරයා මුලින් ජීවත් වී ඇත්තේ ගොඩකුඹුර ප්‍රදේශයේ වලව්වකය. තමන් සතු ගව රංචුව තණ කැවීම පිණිස සේවකයන් විසින් මහවලතැන්න මහ කැලෑවට රැගෙන යනු ලබයි. ඇතැම් දිනෙක කැලෑවේ තණ කන සිය ගව රංචුව දැක බලා ගැනීම පිණිස අදිකාරම්වරයාද අසු පිට නැගී කැලෑවට ඇවිද ගිය බව සඳහන්ය. එක්තරා දිනෙක සිය ගව රංචුව නිරීක්ෂණය කරමින් කැලෑවේ ඇවිද ගිය අදිකාරම්වරයා අශ්වයාගේ පිටින් බැස ගසක් මුල ගිමන් හැරීය. මද වෙලාවකට පසුව අදිකාරම්වරයා දුටුවේ අස්වාභාවික ක්‍රියාවලියකි. නරියෙකු හාවෙකු පසුපස පන්නාගෙන ආවේ හාවා ඩැහැ ගැනීමටයි. මර බියේ දිව ආ හාවා මහා අදිකාරම්වරයා ගිමන් හැරිය ගස ඉදිරියේ එක් ස්ථානයක ඉද්ද ගැසුවා සේ නැවතී තමන් පසුපස එළවාගෙන ආ නරියා දෙස බැලීය. මෙතෙක් බිය ගුළුව සිටි හාවා නරියා පසුපස එළවද්දී නරියාද හාවාට බිය වී පැන දිව්වේය. මෙම අරුම පුදුම සිදුවීම නෙත ගැටීමත් සමඟම මෙම ස්ථානය ජය භූමියක් යැයි සිතා ගැනීමට අදිකාරම්වරයාට අමුතු මොළයක් අවශ්‍ය නොවීය. ගොඩකුඹුර වලව්ව අත්හළ අදිකාරම්වරයා මෙකී ස්ථානයේ සිය වලව්ව ඉදි කරන ලදී. ඒ අනුව මහවලතැන්න පරපුර හා වලව්ව 1700 වර්ෂයේ අග භාගයේ ස්ථාපිත වූවා යැයි පූර්වාපර සිද්ධි පරිශීලනය කිරීමෙන් සිතා ගත හැකිය. එකී ජය භූමියේ ප්‍රායෝගික අරුත, ලොව ප්‍රථම අගමැතිනිය බිහි වීම සිරිලක ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි වීම යන කරුණුවලින් මනා සාක්ෂි සපයයි.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305